Thursday 13 May 2010

සොමාවතී වැඩසටහනින් පසු

උපුටා ගැනීම DhammaMedicine ගූගල් සංගමයෙනි

දයාබර යාලුවේ..

පින කියන්නෙ ජීවිතේට සැප උදා කරල දෙන දෙයක්. ඒ නිසා ම නේ බුදු රජාණන් වහන්සේ වදාළේ පින කියන්නේ සැපයට නමක් කියල. ඒත් සමහර උදවිය පින් කරන්ට ගිහිල්ලත් පව් පුරෝ ගන්නවා. නුවණ නැතිකම ද අවාසනාව ද කියල නො තේරුනත්,පින් කරන්න ගිහින් පවු පුරෝ ගන්න එපා කියල ඉල්ලන්න යි මේක ලියන්නේ...

සෝමාවති මහා සෑය අභියස අසිරිමත් පින්කමක් පැවැත්විලා දැන් දින දෙක තුනක් ගත වෙලා ඉවරයි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පින්කමට සහභාගී වෙලා තිබෙනවා. සහභාගී වෙන්න නො හැකි වුනත් අන්තර්ජාලය ඔස්සේ පින්කමට සම්බන්ධවුන පිරිසකුත් හිටියා.

කොහොම නමුත් ඒ අසිරිමත් පින්කමේ දී සෝමාවතී මහා සෑ රජුන් උදෙසා,දහස් ගණනින් මල් පූජා වුනා. පහන් පූජා වුනා. විදුලි ආලෝක පූජා වුනා. ධජ පතාක පූජා වුනා. අසිරිමත් බුදු ගුණසජ්ඣායනා වුනා. ලක්ෂගණනින් දන් පැන් පූජා වුනා... ඒ ගැන ඔබ මට වඩා දන්නව ඇති.. එහෙම නේද..? ඉතින් බුදු සමිඳුන් ගේ වචනය සිහි කරන කෙනෙකුට නම් හිත හිතා සතුටු වෙන්න පුලුවන්, අප්‍රමාණවිදියට සතුටු වෙන්න පුලුවන්, අනන්ත පින් කම් ඒ පින් බිමේ දී සිද්ධ වෙලා තිබෙනවා.

නමුත් පින්කමට සම්බන්ධවුන සුලුතරයක් අය වගේ ම පිට ඉදන් කටකතාවලින් තොරතුරු රැස් කර ගත්ත සමහර මාධ්‍යවල අයටත් මේ සා විසාල පින්කමක් අනුමෝදන් වෙන්නවත් පුලුවන් කමක් ලැබුනෙ නෑ. ඒ අය හෙව්වෙ පින්කමෙත් වැරදි... "ගංවතුර ගැලුවලු.. මිනිස්සු පොඩි වුනාලු. මිරිකුණාලු. තෙරපුනාලු.." අදෝනා ගොඩයි.. ඒත් පින්කමට සම්බන්ධවුන අය නම් ඒ වගේ දේවල් කිව්වෙ නැහැ... ඒ අය කිව්වෙ "හරිම ලස්සන පින්කමක්" කියල යි. පින් කර ගන්නවත් පිනක් නැති මිනිස්සු ගැන අපිට නම් කණගාටු යි.

දයාබර යාලුවේ..ඔබට මතක ද දන්නෙ නැහැ, කොසොල් රජතුමා පවත්වපු අසදිස දානය. අසදිස දානයක් කියන්නේ වෙන කෙනෙකුට ඒ වගේ දානමය පිනක් කරන්න බැරි මට්ටමේ පින්කමකට. ඒ පින්කම එතරම්ම අසිරිමත්.. නමුත් ඒ දානමය පිනත් අනුමෝදන් වෙන්න නො හැකි වුන කෙනෙක් හිටියා. ඒ කෙනා ගැන අනුකම්පාවෙන් බුදු රජාණන් වහන්සේ පුණ්‍යානුමෝදනාව වත් පවත්වන්නෙ නැතිව වැඩම කරපු හැටි ඔබ කියවල ඇති.

මෙතනදිත් ‍පින්කම් කරන්න ගිහින් අඩුපාඩු හොය හොයා පවු කරගන්න උදවිය ඉන්නවා. අනිත් ‍දේ තමයි,සැප පහසුව හොය හොයා, පින් කරන්න හිතන්න එපා. බුදු රජාණන් වහන්සේ පාරමී පුරන්න කෙතරම් නම් වෙහෙස වුනා ද.. ජීවිතේ පවා පූජා කළා. ඉතින් ඇයි අපිට බැරි තවත් කෙනෙකුට දොස් නොකියා, පොඩි පිපාසයක්,තදබදයක් ඉවසන්න... ඇත්තෙන් ම පිපාසයක් බඩගින්නක් ඉවසන්න බැරි කෙනා මාරාන්තික දුක් වේදනා කොහොම ඉවසන්න ද...?

පිපාසය, බඩගින්න වගේ ම මාරාන්තික වේදනාත් ඉවසීමෙන් ප්‍රහාණය කළයුතු ආශ්‍රව හැටියට යි බුදු රජාණන් වහන්සේ සබ්බාසව සුත්‍ර දේශනාවේ දී දේශනා කොට වදාළේ... ඉතින් මේ වගේ දෙයක් ද්වේශය ඇති කරගන්නෙ නැතිව, ඉවසන්න බැරි කෙනා කොහොම ද නිවන් මගේ ගමන් කරන්නේ..එයා කොහොම ද ඒ අමා නිවන් දකින්නේ..

ඒ නිසා පින්වත් යාලුවේ,අපි හැම දෙයක් තුළින් ම සන්සිදෙන්න පුරුදු වෙමු. අපි සෝමාවතියට පූජා කරපු ලක්ෂගණන් මල් ගැන හිතල සතුටු වෙමු. දකුණු දළදා වහන්සේට පූජා කරපු ධජ පතාක ගැන හිතල සතුටු වෙමු. දල්වපු පහන් ආලෝක ගැන හිතල සතුටු වෙමු.. පූජා කරපු දන් පැන් ගැන හිතල සතුටු වෙමු. සජ්ඣායනා කරපු තෙරුවන් ගුණගැන හිතල සතුටු වෙමු... ඒ අසිරිමත් පින්කම ගැන හිත හිතා සතුටු වෙමු... එතකොට ඔබට අප්‍රමාණ පින් රැස් වේවි. ඒ පින් ඔබට හැමදාව සැපත පිණිස පවතීවි.

ඒ නිසා ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න කැමති යි. ඒ අසිරිමත් පින්කමට සහභාගී වෙලා හෝ එහෙමත් නැත්නම් වෙනත් ක්‍රමයකින් පින්කමට සම්බන්ධ වෙලා හෝ ඔබ දොවා ගත්ත පින් කිරි කලේට, එක එක මාධ්‍ය සහ කට කතා ඔස්සේ පැතිරෙන ගොම බින්දු එකතු කර ගන්න එපා !!!

සිල් රකිනා සග රුවන රැකේවා..
පිල් බෙදනා මිස දිටු දුරු වේවා..
කල් නො යවා බුදු සසුන රැකේවා..
ගෞතම සසුනේ පිහිට ලැබේවා...

සදා සැනසිල්ල වේවා...
තෙරුවන් සරණයි..!!!

1 comments:

යෝගී... said...

කතාව ඇත්ත සහෝ... අපේ රටේ වැඩි හරියක් ඉන්නේ දෙයක් කරන්න සහයෝගය දීම කෙසේ වෙතත් කරන දේක ඇදක් දකින එවුං.. වැඩිපුර.
මොනා කරන්නද.. බුදුන්ගේ කාලෙත් එහෙමලු නං දැං කවර කතාද නේද?
වටිනා ලිපියක්.
-ජය