Thursday 21 January 2010

ඇගේ ගමන වළකනු බැරිවිය ඔවුනට

{දිවයින}

එක්‌ සත්‍ය කතාවක්‌

ඇය නමින් ශ්‍යාමලී. ශ්‍යාමලී උපන්නෙ හද්දා පිටිසර ගමක. ශ්‍යාමලීගෙ තාත්තා ගුරුවරයෙක්‌. අම්මා රැකියාවක්‌ කළේ නෑ. ගෙදර දොරේ කටයුතු හොඳින් කරගෙන තමන්ගෙ කැදැල්ලෙ හැම අවශ්‍යතාවක්‌ම නොපිරිහෙලා ඉටුකරමින් හොඳ ජීවිතයක්‌ ගත කළා.

දැන් ඔන්න පුංචි ශ්‍යාමලී පාසල් යන වයස. ඇය ගමේ ප්‍රාථමික ඉස්‌කෝලෙ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කළා. පුංචි ශ්‍යාමලී හරිම දඟකාරයි. ඒ වගේම කට කාරයි. ඇස්‌වහක්‌ කටවහක්‌ නෑ දක්‌ෂකම් එමටයි. එයාට කිසිම දවසක කිසිම දෙයක්‌ දෙපාරක්‌ කියන්න ඕන නෑ.

පංතියෙ ගුරුතුමීට අමතක වෙලා හරි බැරිවීමකින් හරි යම් වැරැදි දෙයක්‌ හරි එහෙම නැත්නම් පුංචි අඩුපාඩුවක්‌ හරි ඇතිව යම් දෙයක්‌ කියා දුන්නොත් ටීචර් අපේ ගුරු අත්පොතේ තියෙන්නෙ ඔහොම නොවෙයිනේ" ශ්‍යාමලී නැගිටල මහ හඬින් එහෙම කියන්නෙ පංතියට විතරක්‌ නෙවෙයි දෙපැත්තෙ පංතිවලටත් ඇහෙන්නයි.

"ගුරු අත්පොත" ඔයා දන්නෙ කොහොමද ගුරු අත්පොත ගැන?" ගුරුතුමිය අහන්නෙ පුදුමෙන්.

"අපේ තාත්තා පළමුවැනි ශ්‍රේණියෙ ගුරු අත්පොතක්‌ ගෙනැල්ලා අම්මට දුන්නා. අම්මා මට ඒකෙන් පාඩම් කියලා දෙනවා" ශ්‍යාමලී චණ්‌ඩියා වගේ කිව්වා.

ගුරුතුමියට ටිකක්‌ කේන්ති යන්න ඇති. "ඔයා ඉස්‌කෝලෙ නාවට කමක්‌ නෑ. ගෙදර නැවතිලා අම්මගෙන්ම ඉගෙන ගන්න" ඇය එහෙම කිව්වා.

"හා ටීචර්. මම හෙට ඉඳලා එන්නෙ නෑ. හැබැයි වාර අවසාන විභාගයට එනවා" ශ්‍යාමලිත් පරාද නෑ. ඒ පාසලේ උගන්වන වෙන ගුරුතුමියකගෙ දුවකුත් ශ්‍යාමලීගෙ පංතියෙම හිටියා. එයා මධුවන්ති. මධුවන්තිගෙ අම්මා එයා හරියට වැඩ කරනවද කියල බලන්න නිතර නිතර ඒ පංතියට එනවා. ඒ ගුරුතුමිය හැමදාම ශ්‍යාමලීගෙ පොතුත් අරගෙන බලනවා. ඒ පොත් පුරාම රතු පාටින් හරි දාලා.

"උඹට මොකෝ මේ වගේ වැඩ කරන්න බැරි?" ඒ ගුරුතුමිය එයාගෙ දුවට ශ්‍යාමලීගෙ පොත් පෙන්නලා අහනවා. මධූගෙ ඇස්‌වල කඳුළු පිරිලා. ගුරුතුමිය හෙවත් ඒ අම්මා කේන්තියෙන් ශ්‍යාමලීගෙ පොත එයා ළඟට විසි කරලා ගස්‌සාගෙන පිටවෙලා යනවා. "මධූ..... ඔයා අඬන්න එපා ඔයාට බැන්නෙ ඔයාගෙ අම්මනේ" ශ්‍යාමලී ලොකු අම්මා වගේ කියනවා.

දැන් ශ්‍යාමලී දෙවැනි පංතියෙ. ඒ කියන්නෙ මධුවන්තිගෙ අම්මගෙ පංතියෙ. ශ්‍යාමලී දක්‌ෂ නිසාත් මධුවන්ති දක්‌ෂකම්වලින් ටිකක්‌ අඩු නිසාත් ගුරුතුමිය ටික ටික ශ්‍යාමලීට වෙනස්‌කම් කරන්න පටන් ගත්තා. හැබැයි ශ්‍යාමලී නම් ඒ මොකවත්ම ගණන් ගත්තෙ නෑ. ඒ එයාගෙ හැටි. ඒ වුණාට ඉස්‌කෝලෙ සිද්ධ වෙන හැම දෙයක්‌ම ඉස්‌පිල්ලක්‌, පාපිල්ලක්‌ නෑර අම්මට කියනවා.

මේ පාසල ඈත එපිට දුෂ්කර ගමකනේ තියෙන්නෙ. ඒ ගමට පොදු ප්‍රවාහන පහසුකම් අඩුයි. ඉතිං ගුරුතුමීලා, පාසලට එන්නෙ හැම දවසෙම වගේ පරක්‌කු වෙලා. පරක්‌කු වෙලා ආවට මොකද යන්නෙ නම් වේලාසනින්. ගුරුතුමීලා පරක්‌ වෙලා එන නිසා සිසුනුත් ඒ ක්‍රමේට පුරුදු වුණා. එයාලත් පරක්‌කු වෙලා එන්න පටන් ගත්තා.

දවසක්‌ උදේ පාන්දර ආපු විදුහල්පතිතුමා වේවැලත් තියාගෙන ගේට්‌ටුව ළඟට වෙලා හිටියා. සීනුව ගැහුවට පස්‌සෙ ආපු හැම ළමයෙක්‌ම ගේට්‌ටුව ළඟ නතර කර ගත්තා. දැන් වෙලාව නමයටත් කිට්‌ටුයි. ළමයි පනහක්‌ විතර ප්‍රමාදෙට අහුවුණා.

"ඇයි පරක්‌කු වුනේ? මම තමුසෙලා ඔක්‌කෝටම ගහනවා" විදුහල්පතිතුමා කේන්තියෙන් කිව්වා.

"ලොකු සර්... අපි පරක්‌කු වුණා කියලා අපට ගහනවා නම් අන්න අපේ ටීචර්ලා අපටත් වඩා පරක්‌කු වෙලා එනවා. එයාලටත් ගහන්න ඕන." පුංචි ශ්‍යාමලී වීරයා වගේ කිව්වා. විදුහල්පතිතුමාට කට උත්තර නෑ.

"දුවන්නයි කිව්වෙ පංතිවලට" එතුමා තරමක කේන්තියෙන් කිව්වා. ළමයි හූ කිය කියා පංතිවලට දිව්වා.

"ශ්‍යාමලී මෙහාට එනවා. තමුසෙ පංති නායක කමට සුදුසු නෑ. තමුසෙගෙ කට වැඩියි." එදා පංතියට ආපු ගමන්ම පංතිය බාර ගුරුතුමිය ශ්‍යාමලීගෙ පංති නායක පදක්‌කම ගලවලා වෙනත් ළමයකුට පැළැන්දුවා.

"ඒක හරි ෂෝක්‌ අම්මෙ. මොනිට්‍රස්‌ කියල මට තමයි හැමදාම පංතියෙයි, මිදුලෙයි තියෙන බලු කක්‌කා අරගෙන දාන්න ඕන. දැන් මම ඒකෙන් නිදහස්‌. අම්මා දුකෙන් කථා කරන කොට පුංචි ශ්‍යාමලී හිනා වෙවී කිව්වා.


2 comments:

randil said...

ඇයි මල්ලී ඉතිරි ටිකත් මෙතනම නැත්තේ.

කොහොම වුනත් මට මේ ටික කියවලා මගේ පුංචි කාලේ මතක් වුනා. මම 1 වසරට ගියේ කොළඹ පුංච් ඉස්කොලෙකට. (හේතුව අම්මාට හදිස්සියේ ලැබුනු ස්ථාන මාරුවත් එක්ක මාව කලින් ඇතුලත් කරන්න හිටපු පාසලට ඇතුලත් කිරීම ගැටළුවක් වුනා.) ඒ පාසල මිශ්‍ර පාසලක් පමණක් නොවෙයි, ජාතින් වශයෙන් ගත්තත් හැම ජාතියකටම අයිති ළමුන් හිටියා. 1 වසර පංති භාර ගුරුතුමිය ජා කියන ජාතියට අයත් කෙනෙක්. ඒ ගුරුතුමිය සැමවිටම මුස්ලිම් ළමුන්ට විශේෂයක් කලා. මට හරියට වෙනස්කම් කලා. පුංචි හිත රිදෙව්වා. ගෙදර ගිහින් කිව්වත් අම්මා තාත්තා කවදාවත් ගුරුතුමියට වචනයක් කියන්න පාසලට ආවේ නැහැ. මගේ හිත හැදුව එකයි කලේ. ඒ ගුරුතුමිය මට කොච්චර රිදෙව්වාද කිව්වොත් අපේ නංගී කාලයක් යනකම්, "අක්කාගේ ටීචර් අපේ අක්කාට බෙල්ලේ ගෙඩි එන්න ගහලා. පව්" කිය කියා හිටියා. ඇත්තටම ඇය මට වේවැලෙන් ගැසූ පාරකට මගේ බෙල්ලේ පාර සටහන් වෙලා තිබුනා. කෙනෙක් කියයි මාත් යම්කිසි වරදක් කරන්න ඇති කියලා. එතරම් දඬුවමක් දෙන්න 1 වසර ළමයෙක් කරන්න ඕන වැරදි මොනවාද කියලා මට අද වෙනකම් හිතාගන්න ත් බැහැ. කොහොම වුනත් 2 වසරේදි මට හරිම හොඳ ගුරුතුමියක් ලැබුනා. 3 වසරට මම බාලිකා පාසලකට ඇතුලත් ‍වුන වෙලාවේ ඒ ගුරුතුමිය බොහෝ සෙයින් දුක් වුනා. ඇය ඒ තරමට මට හිතැතිව සිටියා.

කොහොම වුනත් ස්තුතියි මල්ලී මම අතීතයට ගිහින් ආවා.

චතුරංග රූපසිංහ said...

අක්කා ඔක්කොම මේකෙ දැම්මෙ නැත්තෙ මේක උපුටාගැනීමක් නිසා මේක ගත්තු සයිට් එකට ලින්ක් එකදැම්මෙ ඒකයි ඔයාගේ කතාව කියවල මට මොකුත් හිතාගන්න බැරිවුනා මෙහෙමත් ගුරුවරු ඉන්නවද කියලා ඒ අතින් මම හරිම වාසනාවන්තයි මොකද මට මේ දක්වා එහෙම ගුරුවරයෙක් හම්බවෙලා නැති එක