දඹුල්ල ගල්කිරියාගම ලෝ පතල වූයේ අද ඊයේ නොවේ. ඒ පෙදෙසේ අක්කර 2000 කින් පමණ සමන්විත ජාතික නාමල් උයන හා රෝස තිරිවානා නිධිය ගැන දේශීය මෙන් ම විදේශීය පරිසරවේදීහු ද, සංචාරකයෝ ද දැන් හොඳින් දනිති.
ලොව පැරණි ම නාගස් වදුලකින් හා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ගණනකින් මතු නොව කෘමි විශේෂ ගණනාවකින් මේ පරිසර පද්ධතිය සැදුම් ලද්දේ ය.
ඈත තෙරක් නොපෙනෙන සුවිසල් නා ගසින් හා ශෝභාවත් තුරු ලතාවන්ගෙන් පෝෂිත මේ මහා පරිසර පද්ධතියේ ප්‍රධාන උයන්පල්ලා, මුරදේවතාවා ජනාධිපති පරිසර සම්මානලාභී වනවාසී රාහුල හිමියෝ ය.
දේවානම්පියතිස්ස රජ දවස මහමෙවුනා උයන කරවන්නට පෙර මෙහි ද විහාරාරාමයක් තිබුණු බවට ලකුණු දැන් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත.
දප්පුල රජ දවස නාමල් උයන සහ රෝස තිරිවානා නිධිය පිහිටි පරිසර පද්ධතිය මිනිස් අභය භූමියක් ලෙස පැවති බවට ඒ අසල පිහිටි ආඩියාගම ටැම් ලිපියේ සඳහන් වේ.
වසර කෝටි ගණනකටත් වඩා ඉපැරැණි වූ මේ රෝස තිරිවානා නිධියේ කොටස් ලොව බොහෝ කලාත්මක නිර්මාණ කෙරෙහි ද යොදා ගෙන තිබූ බව ජනප්රවාදයේ එයි.
මෝගල් අධිරාජයා වූ සජහාන් රජු තම ප්‍රියම්බිකාව මුම්ටාස් දේවිය සමරනු වස් ඉදි කළ ටාජ් මහල් මන්දිරයේ ජනේල පියන්පත් අලංකරණය සඳහා මෙහි රෝස තිරිවානා කොටස් භාවිත කර ඇති බව කියයි.
යම් යම් පරිගණක උපාංගවල ඉක්මනින් නොගෙවෙන කොටස් නිර්මාණය සඳහා ද මේ රෝස තිරිවානා භාවිත කළ බව පෙනේ. මෙහි ඇති ඇතැම් පස් වර්ග ඉතා වටිනාකමින් යුක්ත ය.
ආග්නේය නම් වටිනා පාෂාණ විශේෂයත්, සිලිකන් ඩයොක්සයිඩ් ඛනිජ සංයෝගයත් එහි අන්තර්ගත වීම මීට හේතුවයි. මෙහි ඇති නා වෘක්ෂ විවිධ කුලවලට අයත් වන අතර ලොව එක ම ස්ථානයක දී මෙතරම් නා වෘක්ෂ පෙළක් දැකිය හැකි එක ම ස්ථානය ජාතික නාමල් උයනයි.
ප්රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන මේ රෝස තිරිවානා නිධිය අක්කර 450 කටත් වැඩි බිමක් පුරා විසි පැතිර ඇත්තේ ය. දාගැබ්, පියගැට, බෝධිඝර, සෙල් කුලුණු ආදිය මහ වනයෙන් සඟවා ගත් මේ බිම වනවාසී රාහුල හිමියන් අද ලෝක උරුමයේ දොරකඩට ගෙනැවිත් තිබේ.
2 comments:
ටෙස්ටිං1 ටෙස්ටිං1
සටහනට ස්තුතියි !!!
Post a Comment